සුසන්තිකා ජයසිංහ කරළියට ගෙනා නිළිය මෙන්න

290 Views
Generic placeholder image

නදීෂානි හෙන්ඩර්සන් කියන ඇයගේ කතාව තරමක් අමුතු එකක්. මේ දවස්වල තිරගත වන “උදුම්බරා” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇයට එම අවස්ථාව ලැබුණේ කොහොමද කියලා ඇහුවොත් ඔබටත් පුදුම හිතෙයි.

ජීවිතයම ක්‍රීඩාවට කැප කළ නදීෂානි නිළිකමට එකතු වුණේ අහම්බෙන්? මේ කතාව ඇත්තක් නේද?

ඇත්තටම ඔව්. කිසිම දවසක මගේ හිතේ නිළියක් වීමේ හීනයක් තිබුණේ නැහැ. “උදුම්බරා” චිත්‍රපටයට එකතුවෙන්න අවස්ථාව උදා වුණාම මට පුදුම හිතුණා.

කොහොමද ඒ අවස්ථාව උදා වුණේ?

“උදුම්බරා” චිත්‍රපටයේ ක්‍රීඩිකාවකගේ චරිතයට සුදුසු නිළියක් හොයමින් අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස දවස් ගණනක් ටොරිංටන් ක්‍රීඩාංගණයට ඇවිත් තියෙනවා. හැබැයි ඒ අය මට මුණගැහුණේ නැහැ. ඔය අතරේ මම ටොරිංටන්වල පුහුණුවීම් කරන අතරේ සුසන්තිකා මිස් (සුසන්තිකා ජයසිංහ) මගේ ළඟට ඇවිත් මේ කාරණාව ගැන කිව්වා. “මට නම් හිතෙන්නේ ඒ චරිතයට ගැළපෙන්නේ ඔයා” කියලයි. එහෙම කියලා ඇය මාව අධ්‍යක්ෂවරයා ළඟට යොමු කළා.

නිළියක් වෙන්න හීනෙකින්වත් නොහිතූ ඔබට කැමරාවක් ඉදිරියේ රඟපාන එක අසීරු වුණේ නැද්ද?

ක්‍රීඩිකාවක් හින්දමද මන්දා මම හරිම ආසයි අභියෝගවලට මුහුණ දෙන්න. රඟපෑම මට අලුත් අත්දැකීමක්. ඒ අලුත් අත්දැකීමට සාර්ථකව මුහුණ දීමත් අභියෝගයක්. ඔන්න ඔහොම හිතාගෙනයි මම දර්ශන තලයට ගියේ.

කොහොම හරි ඉතින් නදීෂානි දැන් ජනප්‍රිය නිළියක්. කොහොමද ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

ගොඩාක් හොඳයි. පාරෙ යද්දී සමහරු “උදුම්බරා” කියලා කෑ ගහනවා. යාළුවෝ, නෑදෑයෝ දන්න කියන හැමෝම චිත්‍රපටය බලලා හොඳ කියනවා.

මේ ප්‍රතිචාරත් එක්ක දැන් දිගටම නිළියක් විදියට රඟපාන්නද හිතාගෙන ඉන්නේ?

කීප දෙනෙක් අලුත් නිර්මාණ කිහිපයකට කතා කළා. ඒත් තවම ඒ ගැන හිතනවා.

ක්‍රීඩිකාවකගේ චරිතයක් හින්දා ඔබට ලැබුණු චරිතය අපූරුවට රඟපෑවා. නමුත් නිළියක් දිගටම ක්‍රීඩිකාවන්ගේ චරිත විතරක් කරන්න බැහැ. එතැනින් එහා ගිය චරිතයක් ලැබුණොත් වැඩේ ‍ලේසි වෙයිද?

මුලින් කිව්වා. වගේ අභියෝග බාරගන්න මම ගොඩක් කැමතියි. ඒ නිසා හොඳ චරිතයක් ලැබුණොත් භාරගන්න මම සූදානම්. එය ක්‍රීඩිකාවකගේ චරිතයක්ම විය යුතු නැහැ. ඉන් එහා ගිය චරිතයක් ලැබුණොත් එය හොඳ අභියෝගයක් කියලා හිතාගෙන බාරගන්නවා.

මල් ගස් වටේ නටන පෙම්වතිය වෙන්න වුණොත්?

මම නර්තනය හදාරලා නැහැ. හැබැයි මට නටන්න පුළුවන්. (සිනා)

නදීෂානිගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු වගේම ක්‍රීඩා දිවියේ තොරතුරු ගැනත් පාඨකයන්ට කියමු?

මගේ ගම අලුකෙ‍පොල. මට එක නංගියෙක් ඉන්නවා. මුලින්ම මම දූනගහ රණසිංහ මහ විදුහලෙන් අධ්‍යාපනය ලබලා ක්‍රීඩාව හින්දම මීගමුව ආවේ මරියා විදුහලට ශිෂ්‍යත්වයක් ලබාගත්තා. ඊට පස්සේ ක්‍රීඩාව තුළින් වැඩිදුර දස්කම් පානවිට ගේට්වේ ජාත්‍යන්තර පාසලට ශිෂ්‍යත්වයක් ලැබුණා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මානව සම්පත් කළමනාකරණය ගැන ඉගෙන ගත්තා. දැනට මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාව තෙවැනි වසරේ සිසුවියක්. ඒ අතර කෙටි දුර ධාවන ශූරියක ලෙසත් දිගටම කටයුතු කරනවා.

ක්‍රීඩාව හා රංගනය තුළින් ඉදිරියට යද්දී දවසක මේ දෙකින් එකක් තෝරාගන්න වුණොත් තෝරාගන්නේ ක්‍රීඩාවද නිළිකමද?

මට කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. අභියෝග ජයගන්නත් පුළුවන්. ඔය දෙකෙන් එකක්වත් අතහරින්නේ නැතුව සමබරව ගෙන යන එකත් මට ප්‍රශ්නයක් නමෛයි. මම එහෙමයි හිතන්නේ.


Latest Articles

SUBSCRIBE TO OUR YOUTUBE CHANNEL NOW

The Most popular channel in Sri Lanka